චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග
April 27, 2026 06:22 pm
මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් විසිදෙදෙනාව මෙහෙය වූ ප්‍රධාන චීවරධාරී සැකකරු මැයි 2වනදා දක්වා, දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ.
සැකකරු අද (27) මීගමුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය විසින් මෙම නියෝගය ලබා දී තිබුණි.
කඩවත රම්මුතුගල ශ්‍රී පුන්‍යා ලංකාරාම විහාරයේ, අගුණුකොලේ අමිතානන්ද නම් මෙම චීවරධාරියා තායිලන්තයේ සිට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළේදී භාරගැනීමට සුදානම්ව සිට ඇති බවද සඳහන් වේ.
මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් විසිදෙදෙනා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ප්‍රධාන චීවරධාරියා එම ස්ථානයෙන් පලාගොස් මිරිස්වත්ත ප්‍රදේශයේ සැඟව සිට ඇත.
එහිදී ඊයේ (26) පෙලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.
අමිතානන්ද නම් මෙම චීවරධාරියාගේ වෛද්‍ය වාර්තා අනුව ද ඔහු එම අවස්ථාවේදී ද මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බව හෙළි වී තිබේ.
එමෙන්ම අනෙකුත් චීවරධාරීන් පිරිස තායිලන්තයට යැවීම ද මෙම සැකකරු විසින් මෙහෙයවා ඇති බවත් ඔවුන් සම්බන්ධකරගත් Whatsapp ගිණුම ද මොහු විසින් ම මෙහෙයවා ඇති බවත් අධිකරණයේදී අනාවරණය වී ඇත.
රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් "කුෂ් " සහ" හෑෂ් " නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 112ක් ඉතාම කූඨ ලෙස ගමන් මළුවල සඟවමින් මෙම චීවරධාරීන් විසිදෙදෙනා විසින් මෙරටට ගෙනවීත් තිබුණි.
